Hugh Jackman

GS Kariyapperuma
2 min readOct 12, 2022

Deadpool 3 චිත්‍රපටය නිසා පසුගිය දවස්වල trending වුන නමක් තමයි Hugh Jackman. රිදී තිරයේ, පුංචි තිරයේ මෙන් ම වේදිකාවේත් දස්කම් දක්වන Jackman බොහෝ දෙනෙක් හඳුනන්නේ ඔහු රඟපෑ Wolverine චරිතය හරහායි.

කවුද ඇත්තටම මේ Hugh Jackman කියන්නේ?

1968 දී ‌ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ බ්‍රිතාන්‍ය යුවළකට දාව උපන් Hugh Michael Jackman, කුඩා කල සිට ම කලාවට ඇලුම් කළා. 1994 දී Western Australian Academy of Performing Arts of Edith Cowan University තුලින් උපාධිය ලබා ගත් Jackman තම ප්‍රථම වෘත්තිමය රංගන දායකත්වය ABC TV හි ටෙලිනාට්‍යයකට ලබා දුන්නා. 1998 දී Royal National Theatre විසින් නිෂ්පාදනය කරන ලද “Oklahoma!” වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑමට Jackman ට අවස්ථාව ලැබුණා. ඔහුගේ ඒ රංගනය ඔහුට Olivier Award නිර්දේශයක් මෙන් ම ඕස්ට්‍රේලියාවෙන් පිට ප්‍රේක්ෂක හදවත් දිනා ගන්නට ද උදව් වුනා.

1999 දී Bryan Singerගේ “X-Men” චිත්‍රපටයේ Wolverine චරිතය සඳහා Jackmanව තෝරා ගැනීම ඔහුගේ රංගන දිවියේ විශේෂ සංධිස්ථානයක් වුනා. “X-Men” සිට “Logan” දක්වා චිත්‍රපට 9ක Wolverine ලෙස Jackman රංගන දායකත්වය ලබා දුන් අතර එම රංගනයන් සඳහා බොහෝ සම්මාන දිනා ගැනීමට ද සමත් වුනා. People’s Choice Favorite Action Movie Star Award, Teen Choice Award ඒ සම්මාන වලින් කිහිපයක්. ඒවගේම Wolverine චරිතය නිසා Jackman “longest career as a live-action Marvel superhero” ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත් වුනා. මීට අමතරව Christopher Nolanගේ “The Prestige”, Darren Aronofskyගේ “The Fountain”, Baz Luhrmannගේ “Australia” ආදී චිත්‍රපටවල ඔහු එකිනෙකට වෙනස් චරිත රඟපාමින් තම රංගන කෞෂල්‍යය මැනවින් පෙන්වා දුන්නා. ක්ෂේත්‍රයට පැමිණි මුල් කාලයේ පටන් Musicals තුලින් ප්‍රසිද්ධියක් ලබා සිටි ඔහු 2004 දී “The Boy from Oz”හි රඟපෑම සඳහා හොඳ ම නළුවාට හිමි Tony සම්මානය දිනා ගත්තා. එසේ ම Anne Hathaway, Russell Crowe සමග රඟපෑ Tom Hooperගේ “Les Misérables”හි අති විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කළ Jackman, Motion Picture — Comedy or Musical යටතේ හොඳ ම නළුවාට හිමි Golden Globe සම්මානය දිනා ගත්තා. Broadwayහි දිදුලන නමක් හිමි Jackmanට Tony Awards උත්සවය කිහිප වරක් ම ඉදිරිපත් කරන්නට අවස්ථාව ලැබුණා.

තම රූප කාය පිළිබඳ දැඩි සැලකිල්ලක් දක්වන Jackman, People සඟරාව විසින් The 50 Most Beautiful People in the World අතරට ඇතුළත් කර තිබුණා.

Deadpool 3 චිත්‍රපටය හරහා නැවතත් Wolverine ලෙස රිදී තිරයට පැමිණෙන Jackman අද 54 වැනි වියට පා තබනවා. ලොව පුරා රසික හදවත් දිනා ගත් Jackman ඉදිරියේ දී තවත් බොහෝ නිර්මාණ තුලින් තම රසිකයන් පිනවනු ඇත.

සටහන — ගයාත්මි සනුදිනී කාරියප්පෙරුම

--

--