Jerry Lewis
හාස්‍ය රංගන කලාවේ විශිෂ්ට සිනමාකරුවන් ලෙස Charles Chaplin, Buster Keaton, Woody Allen නම් කරන්න පුළුවන්. මේ අතරට කියැවෙන තවත් නමක් තමයි Jerry Lewis. පිටපත් රචනය, චිත්‍රපට නිෂ්පාදනය, අධ්‍යක්ෂණය හා හාස්‍ය රංගනයෙහි අති දක්ෂයෙකු වූ Jerry ’50, ’60 කාලයේ දී ඇමෙරිකාවේ සුප්‍රසිද්ධ කලාකරුවෙක්.
1926 මාර්තු 26 දින උපන් Jerryගේ පියා Danny Lewis විකට නළුවෙකු වූ අතර මව Rae Lewis ගුවන්විදුලි පියානෝ වාදන ශිල්පිනියක් සහ Dannyගේ සංගීත අධ්‍යක්ෂකවරිය වුනා. තම දෙමාපියන්ගේ ආභාෂය ඇතිව සමාජ ශාලා වේදිකාවෙන් තම රංගන ජීවිතය ඇරඹූ Jerry බොහොම කෙටි කාලයකින් සාර්ථකත්වයට ළඟා වූ කලාකරුවෙක් ලෙස හඳුන්වන්න පුළුවන්.
මුල් කාලයේ ප්‍රසිද්ධ ගීත සඳහා අභිරූපණ රංගනයක් ඉදිරිපත් කළ ඔහුට වේදිකාවේ අවස්ථාව ලැබුණේ ප්‍රධාන ප්‍රසංග දෙකක් අතරමැදි කාලවල වේදිකාවේ අඩුව පුරවන්න පමණයි. නමුත් 1946 දී Dean Martin සමඟ එක් වීම Jerryගේ රංගන දිවියේ විශේෂ සන්ධිස්ථානයක් වුනා. Martin and Lewis නම් වූ ඒ සබැඳියාව හාස්‍ය රංගන කලාවේ විශිෂ්ටතම Comedy Teams ලැයිස්තුවට එක් වුනා. ප්‍රසංග වේදිකාව, ගුවන්විදුලිය, රිදී තිරය මෙන් ම පුංචි තිරය ද අත්පත් කර ගත් ඔවුන් Paramount චිත්‍රපට 16ක් සඳහා තම රංගන දායකත්වය ලබා දුන්නා.
ඒ හවුල බිඳී ගිය පසු Jerry, Paramount Pictures සමඟ දිගටම රැඳී සිටියා. රංගනයට අමතරව පිටපත් රචනය, චිත්‍රපට නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය කෙරෙහි අවධානය යොමු කළ Jerry හැකි සෑම විටම Paramount Studioහි විවිධ අංශවල කාලය ගත කරමින් දැනුම එකතු කරන්නට පටන් ගත්තා. ඔහු රඟපෑ බොහෝ චරිත පෙනුණේ එක ම විදිහටයි. ඒවා තීව්ර හඬින් කතා කරන, එක මොහොතක් හෝ එක විදියකට ඉන්නට බැරි චරිත වූ අතර එමගින් ඔහු Keaton හා Chaplinගේ රංගනයන් යාවත්කාලීන කරන්නට උත්සාහ කළ බවක් පෙනෙනවා.
Jerryගේ රංගනය බලා සිටින කෙනෙකුට පෙනෙන්නේ ඔහු වැඩිහිටි චරිතයක් රඟපාන්නට බලහත්කාරයෙන් යොදවා ගත් කුඩා දරුවෙක් වගේ. එසේම ඔහු රඟපෑ බොහෝ චරිත මිනිස් කාටූන් වගේ. “Artists and Models”, “Cinderfella”, “The Errand Boy”, “The Pasty” ආදී චිත්‍රපටවල දී 4th wall break වැනි Looney Toons න්‍යායයන් ද දක්නය ලැබෙනවා.
1960 දී තිරගත වූ “The Bell Boy” Jerryගේ එක් විශිෂ්ට නිර්මාණයක් ලෙස සැලකෙනවා. ඒ වන විට ඔහුට රඟපාන්න පමණක් නොවේ, පිටපත් රචනයට, චිත්‍රපට නිෂ්පාදනය කිරීමට හා අධ්‍යක්ෂණය කිරීමට ද ඔහුට හැකි වුනා. මේ චිත්‍රපටය මාසයක් ඇතුළත සාදා නිම කරන්නට ද ඔහු සමත් වුනා.
Jerryගේ විශිෂ්ටතම නිර්මාණය ලෙස හැඳින්වෙන්නේ 1963 දී තිරගත වූ “The Nutty Professor” යි. Dr. Jekyll and Mr. Hyde කතාව ඇසුරෙන් ලියැවුණු මේ චිත්‍රපටයේ දී Jerry තම සුපුරුදු හාස්‍ය රංගනයට අමතරව කඩවසම් තරුණ ආදරවන්තයාගේ චරිතයට ද පණ පොවමින් රසික හදවත් දිනා ගත්තා.
1982 දී Martin Scorseseගේ “King of Comedy” චිත්‍රපටයේ Jerryගේ සහය රංගනය බොහෝ විචාරකයින්ගේ අවධානයට යොමු වුනා. ඔවුන් කියා සිටියේ අවසානයේ සාර්ථක රංගන ශිල්පියෙකු වූ බවයි. මේ ප්‍රකාශය තුලින් පෙනී යන්නේ ඒ විචාරකයින් Jerryගේ හාස්‍ය රංගනයේ සාර්ථකත්වය නො දැකපු බවයි.
කෙසේ වෙතත්, Jerryගේ හාස්‍ය රංගනය අනුකරණය කරමින් ලෝකයේ විවිධ රටවලින් කලාකරුවන් බිහි වුනා. අපේ රටේ බන්දු සමරසිංහත් ඒ අතරින් කෙනෙක්.
2017 අගෝස්තු 20 දින මිය යන විට Jerry Lewis 91 වන වියේ පසු වුනා. ඔහුගේ රංගනය අද බොහෝ අයට ඝෝෂාකාරී පිස්සුවක් විදියට පෙනේවි. නමුත් මේ අතර ඉන්නවා, ඒ වැඩිහිටි මිනිසා තුළ සිර වී සිටින දඟකාර ළමයාට පෙම් බැඳි අයත්.
සටහන — ගයාත්මි සනුදිනී කාරියප්පෙරුම