“හිට්ලර් ඇත්තටම සියදිවි නසා ගත්ත ද?” දකුණු ඇමරිකාවේ නාසීන්ගේ නොකියූ කතාව

GS Kariyapperuma
4 min readDec 11, 2020
Adolf Hitler and Eva Braun

ලෝක ඉතිහාසයේ වඩාත්ම කුප්‍රකට ආඥාදායකයා වන ඇඩොල්ෆ් හිට්ලර් (Adolf Hitler) දෙවන ලෝක යුද්ධ සමයේ මිලියන 70 කට අධික මරණ සංඛ්‍යාවකට වගකිව යුතු බව නොදන්නා කෙනෙක් නැති තරම්. හිට්ලර් සහ ඔහුගේ දිගුකාලීන සහකාරිය වන ඊවා බ්‍රවුන් (Eva Braun) 1945 අප්‍රියෙල් 30 වන දින බර්ලිනයේ (Berlin) පිහිටි හිට්ලර්ගේ බංකරයේ දී සියදිවි නසා ගත් බව ඉතිහාස පොත්වල සඳහන් වෙනවා. එහෙත්, ගින්නට හසුවී තිබුනු මළ සිරුරු නිසි ලෙස හඳුනා ගන්න බැරි වුණා. මාධ්‍ය හමුවකදී සෝවියට් හමුදාවේ ප්‍රධානී මාෂල් ෂුකොව් (Marshall Shukov) කියා සිටියේ හිට්ලර්ගේ දේහය හඳුනාගෙන නොමැති බවත් සමහර විට ඔහු පැන ගොස් ඇති බවත්. ස්ටාලින් (Starlin) පවා එයට එකඟ වුණා.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව හිට්ලර් ජීවත් වුණාද? එහෙම නම් ඒ කොහෙද? ඔහු ලෝකයෙන් සැඟවී සිටියේ කොහොමද?

හිට්ලර්, ඊවා සමඟ ආර්ජන්ටිනාවට (Argentina) පලා ගිය බවට කටකතාවක් පැතිරෙන්නට පටන් ගත්තා. මේ සම්බන්ධයෙන් FBI වාර්තා කිහිපයක් පවා තිබීම සිත්ගන්නා කරුණක්.

දෙවන ලෝක යුද්ධය අවසන් වූ කාලයේ දී ලක්ෂ සංඛ්‍යාත නාසි (Nazi) සහ ඔවුන්ගේ සහකරුවන් දකුණු ඇමරිකාවට පැමිණි බව පැහැදිලියි. මේ අය අතර ඇඩොල්ෆ් අයිච්මන්: හිට්ලර්ගේ “අවසාන විසඳුමේ” ගෘහ නිර්මාණ ශිල්පියා (Adolf Eichman: the architect of Hitler’s “Final Solution”) සහ දොස්තර ජොසෙෆ් මෙන්ගල්:මරණ දූතයා (Dr. Josef Mengele: Angel of Death) වැනි නාසි යුද අපරාධකරුවන් සොයා ගැනීමත් සමඟ දකුණු ඇමරිකාවේ නාසි ජාලයක වර්ධනයක් විදහා දැක්වුවා.

“ග්‍රේ වුල්ෆ්: එස්කොප් ඔෆ් ඇඩොල්ෆ් හිට්ලර්” (Grey Wolf: The Escape of Adolf Hitler) නම් පොතට අනුව හිට්ලර් සහ ඊවා ඔවුන්ගේ පෙනුමට සමාන යුවළක් බර්ලින් බංකරයේ ඔවුන්ගේ දිවි නසා ගැනීමේ දර්ශනය රඟ දක්වන අතරතුර දකුණු ඇමරිකාවට පලා යනවා. හිට්ලර් ඔහුගේ ප්‍රසිද්ධ උඩු රැවුල කපා, ප්ලාස්ටික් සැත්කමකට භාජනය වෙලා තියෙනවා. මේ අතර ඊවා තම දියණියද සමඟ නියුකෝන් (Neuquén) වෙත යනවා. හිට්ලර් 1962 පෙබරවාරි 13 වන තෙක් (වයස අවු. 73) ජීවත් වුණා කියලත් සඳහන් වෙනවා.

විශ්‍රාමික ආර්ජන්ටිනාවේ පුවත්පත් වාර්තාකරුවෙකු වන අබෙල් බැස්ටි(Abel Basti), හිට්ලර්ගේ පශ්චාත් යුධ සමයේ පැවැත්ම ගැන සාක්ෂි ඉදිරිපත් කළ අතර බොහෝ කථා ද වාර්තා කළා. ඔහුගේ මතයට අනුව විලා ලා ඇන්ගෝස්ටුරා (Villa la Angostura)හි වර්තමාන ජනාවාස අසල පිහිටි ඉනාල්කෝ මන්දිරය (The Inalco House) හිට්ලර් ලෝකයෙන් සැඟවී සිටි නිවස ලෙස විශ්වාස කෙරෙනවා. එය සනාථ කරන්න කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නැති වුණත් එහි අසාමාන්‍ය පිහිටීම සහ පරිවාර ගොඩනැගිලි එය ජර්මානු ආඥාදායකයාට සැඟවෙන්නට සුදුසුම ස්ථානයක් බව කියාපානවා.

පෙනින්සියුලා සැන් පෙඩ්‍රෝ (Península San Pedro)හි පිහිටි බුස්ටිලෝ කුළුණ (Bustillo Tower)හා විලා ටකුල් (Villa Tacul)හි පිහිටි බංකරය එම පරිවාර ගොඩනැගිලි විදියට සලකනවා. මධ්‍යකාලීන ශෛලියෙන් ඉදිකර ඇති බුස්ටිලෝ කුළුණ ඉතා ඉහළ පර්වතයක් අද්දර පිහිටා ඇති නිසා එයට ළඟා වීම දුෂ්කර කාර්යයක්. එහි සිට බලන අයෙකුට නහුවෙල් හුවාපි විල(Nahuel Huapi Lake) හරහා ඉනාල්කෝ ප්‍රදේශය දෙසට නැගෙනහිරින් පැමිණෙන ඕනෑම යාත්‍රාවක් දර්ශනය වෙනවා. මේ නිසා බුස්ටිලෝ කුළුණ හිට්ලර්ගේ ආරක්ෂාවට ඉදි කළ විමසුම් කණුවක් කියලා මතයක් තියෙනවා. විලා ටකුල් හි නහුවෙල් හුවාපි විලට මුහුණ ලා පිහිටි බංකරය ද විල හරහා ඉනාල්කෝ ප්‍රදේශය දෙසට බටහිරින් පැමිණෙන යාත්‍රා ගැන සොයා බලන්න කදිම ස්ථානයක් විදියට සළකන්න පුළුවන්.

එම ප්‍රදේශයේ සිතියමක් අධ්‍යනය කරන විට පැහැදිලි වුණා ඉනාල්කෝ ප්‍රදේශයට ළඟාවෙන්න තියෙන එකම මාර්ගය නහුවෙල් හුවාපි විල බව. ඉනාල්කෝ ප්‍රදේශය උතුරින්, නැගෙනහිරින් හා බටහිරින් ඇන්ඩීස් (Andes) කඳුකර ආශ්‍රිත පරිසරයකින් ආරක්ෂා වන අතර දකුණින් බුස්ටිලෝ කුළුණ හා විලා ටකුල් හි පිහිටි බංකරය මඟින් ආරක්ෂා වෙනවා.

ඉනාල්කෝ මන්දිරය නහුවෙල් හුවාපි විලට මුහුණ ලා ඉදි කර ඇති ඉතා අලංකාර මන්දිරයක්. බැවේරියානු පන්නයේ නිවසක් වන එය තට්ටු දෙකකින් හා බිම් මහලකින්(Basement) සමන්විත යි. මෙහි විශේෂ කරුණ වන්නේ ඔබර්සාල්ස්බර්ග් (Obersalzberg)හි පිහිටි හිට්ලර්ගේ බර්ගොෆ් (Berghof) නම් නිවස හා ඉනාල්කෝ මන්දිරය අතර සමාන ලක්ෂණ පැවැතීමයි.

මීට අමතරව තවත් විශේෂ දෙයක් තිබුණා. ඒ තමයි, හුමුල් ව්‍යාපෘතිය (Huemul Project). 1950 දශකයේ මුල් භාගයේ ආර්ජන්ටිනාවේ තර්මෝට්‍රෝන් (Thermotron) නමින් විලයන බල උපකරණයක් (Fusion power device) නිපදවීම මෙහි අරමුණ වුණා. මේ සංකල්පය ඔස්ට්‍රියානු විද්‍යාඥ රොනල්ඩ් රිච්ටර්(Ronald Richter) විසින් නිර්මාණය කළ අතර ඔහු කියා සිටියේ වඩාත් ඵලදායී ලෙස අසීමිත බලයක් නිපදවිය හැකි බවයි. පැටගෝනියාවේ සැන් කාලෝස් ද බැරිලෝචේ (Carlos de Bariloche, Patagonia) නගරයට මදක් ඔබ්බෙන් නහුවෙල් හුවාපි විලෙහි පිහිටි හුමුල් නම් හුදෙකලා දූපතේ පර්යේෂණාත්මක ස්ථානයක් ඉදිකිරීමට 1949 දී පටන් ගත්තා. 1951 වන විට වැඩ අවසන් කළ අතර පර්යේෂණ කටයුතු ද ආරම්භ කළා.

ඒ අවුරුද්දෙම පෙබරවාරි 16 වෙනිදා රිච්ටර් විසින් තම පර්යේෂණ සාර්ථක බව ප්‍රකාශ කළා. රිච්ටර් සාර්ථක වූ බව එවකට ආර්ජන්ටිනාවේ ජනපති ජුවාන් පෙරොන් (Juan PerÓn) ප්‍රසිද්ධියේම කියා සිටියා. නමුත්, විශේෂ විමර්ශන කණ්ඩායම් විසින් සිදුකල විමර්ශන වාර්තා වල සඳහන් වුණේ එය සාර්ථක නැති බවයි. ඒ නිසා, පර්යේෂණ නවත්තන්න රිච්ටර්ට සිද්ධ වුණා. කාලතුවක්කු ඉලක්ක පුහුණුවට භාවිත කරන තෙක් 1970 දශකය දක්වා මේ දූපත මිලිටරි පාලනය යටතේ පැවතුනා. 1995 දී සංචාරක සමාගමක් එය මිල දී ගත් අතර බොහෝ සංචාරකයින් එම ඓතිහාසික නටබුන් නරඔන්නට උනන්දුවක් දක්වනවා.

කෙසේවෙතත්, හිට්ලර්ගේ ආර්ජන්ටිනාවට පලා යාම පිළිබඳ මේ න්‍යාය ඉතිහාසඥයින් විසින් බැහැර කරනවා. නමුත් ආර්ජන්ටිනාවේ අඳුරු සෙවනැලි අතර හිට්ලර්ගේ රහස් තවමත් පවතිනවා.

-GS Kariyapperuma

--

--